Friday, August 3, 2012


බාල අපරාධී කාම රැල්ලට මොකක්ද විසඳුම?


පසුගිය දින ගණනාවේම අපට සෑම මාධ්‍යයකින්ම අසන්නට දකින්නට ලැබුනේ බාල අපරාධී කාම රැල්ලේ සීඝ‍්‍ර වර්ධනයකි. එය සිත් පිත් ඇත්තවුන්ගේ හදවත් කම්පාකරවන සුළු සිද්ධීන් ගණනාවකින් සමන්විත විය. මනුෂ්‍ය වේෂයෙන් හිඳිමින් තිරිසනුන් සේ හැසිරුන අමනුෂ්‍යන්ගේ කාමාෂාවන් පිට වූ අයුරු තිරශ්චීන ස්වභාවයත් ඉක්මවා ගිය අයුරු අප දුටුවේය. සංස්කෘත සාහිත්‍යයේදී තිරිසන්ගත සත්වයන්ගේ ස්වභාවය කරුණු හතරකින් විශේෂකොට දක්වා ඇත.  ඒ අනුව ඔවුන්ගේ අවශ්‍යතාවන් ‘‘ආහාර, නිජ්ජා, භය, මෛතුනංච’’ යනුවෙන් සීමා වී ඇති අයුරු පැහැදිලිය. තිරිසන්ගත සත්වයා නිරන්තරයෙන් විපරම් කරන්නේ තමන්ගේ කුස පුරවා ගිනිමින් ආහාර අවශ්‍යතාව සම්පූර්ණකර ගැනීම සඳහාය. එසේ කුස පුරවා ගන්නා තිරශ්චීනයාගේ ඊළග අවශ්‍යතාව වන්නේ සිය නින්ද කෙසේ හෝ සකසා ගැනීමයි. ඒ අතරම ඔහු සිය ආත්ම ආරක්‍ෂාව පිළිබඳ නිරන්තර අවධානයෙන් හිඳිමින් සිය ජීවිතයට එල්ල වෙන බාහිර බලපෑම්වලින් මිදී සිටීම එක අවශ්‍යතාවයකි. 

එසේ තමන් ගැන පමණක් සිතන ඔවුන්ගේ ඊළග එකම අවශ්‍යතාවය නම් සිය කාමාශාවන් සන්තර්පනයකර ගැනීමයි. ඒ සඳහා තිරශ්චීනයන්ට  තැනක් නොතැනක් හෝ අම්මා අප්පා කියා හෝ වෙනත් සදාචාරාත්මක බැඳීමක් පමණක් නොව සමාජ සම්මතයක් අදාළ නොවනමුත් තිරිසනුන්ට පවා දාරක ස්නේහය අපිරිමිතව ඇති ආකාරය අපි දනිමු. අපි දකිමු. ඇතැම් අවස්ථාවන්හීදී මාධ්‍ය මගින් අපට නෙතු අදහාගත නොහැකි අන්දමේ සිදුවීම් පවා අසන්නට දකින්නට ලැබුණ අවස්ථාවන් එමටය. අප බෝහෝ වෙලාවට සියල්ල දෙස බැලීමට පුරුදුව ඇත්තේ සාපේක්‍ෂවය. මේ අනුව මිනිසා පිළිබඳ සාපේක්‍ෂව බැලීමට සිදු වන්නේ තිරිසන්ගත සත්වයාගෙන් වෙන් කොට සලකා බැලීමෙනි. එහදීද වැදගත් වන්නේ තමන්ගේ හෘද සාක්‍ෂියට එකගව ගන්නා තීන්දු තීරණයි. මන්ද තමන් පිළිබඳ මැනවින් දන්නේ තමන්ගේ හෘද සාක්‍ෂියයි.   එනිසා තමන් නියෝජනය කරන්නේ කුමන සත්ව කොට්ඨාශයද යන්න තම තමන් විසින් තීරණය කළ යුතු අතර මනුෂ්‍ය වේෂයෙන් සිටීමෙන් පමණක් මිනිසෙකු නොවන බව තරයේ සිහිතබාගත යුතුය. ඇතැම් අවස්ථාවන්හීදී පිටස්තර සමාජයට තීරණය කළ හැකි අන්දමින් ඇතැම් මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙමින් අහාර, නිජ්ජා, භය, කාමාශාවන් සන්තර්පනය කර ගැනීම ආදි අංග සතර සිය ජීවිතය කරගත් අවස්ථා නිසාම අප නිරන්තරයෙන් පසුගිය කාල සමයේදී බහුල වශයෙන් කාම රැල්ලක් වර්ධනය වනු දුටුවේය. එය වනාහි කාලය එළැඹි කළ රැලේ යන සුනඛයන්ගේ හැසිරීමටත් අන්ත වූ අවස්ථා විය.

මේ රටේ ළමා අපයෝජන දිනෙන් දින ඉහළ යමින් පවතී. එය වාර්ෂිකව ගත් කළ ඉතාමත් සීඝ‍්‍ර වර්ධන වේගයකි. ගිය වසරේදී ළමා අපයෝජන සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 5108 කි. නමුත් මේ වසරරේ පළමු මාස ත‍්‍රිත්වය ඇතුළත තත්වය මීට හාත්පසම වෙනස් ඉතා ඛේදනීය හා රටේ අනාගතය පිළිබඳ භයානක තත්වයකි. මේ අනුව මේ වසරේ පළමු මාස තුන ඇතුළත එවැනි පැමිණිිලි 9,446 ක් වාර්ථා වී ඇත. මේ අතරින් බොහොමයක් ලිංගික අපයෝජන වේ. එම ලිංගික අපයෝජන බොහොමයක් සිදුව ඇත්තේ ධනය, බලය හෝ වෙනත් බල පුළුවන්කාරකම් සහිත ඇත්තන්ගෙන් වීම නිසා මතුව ඇත්තේ තවත් ඛේදනීය තත්වයකි. මන්ද ඔවුන් එම සම්බන්ධතා පාවිච්චි කරමින් නීතියේ රැහැණින් මිදී සිටීමට උත්සාහ දැරීමයි. විශේෂයෙන්ම දේශපාලන හයිය අරන් මෙසේ වැජඹෙන්නට වෙර දරන තිරශ්චීනයන් තමන්ගේ ලෙයින් ජාතක වූ වයස 12ක් 13ක් තරම් වන දියණි වරුන් පවා  කෙළසන්නේ තිරශ්චීන කමට විනා අන් කවරක් නිසාද?
පවතින මේ තත්වය පිළිබඳ අප ලිවීමෙන් කතා කිරීමෙන් හෝ සංවාද විවාද පැවැත්වීමෙන් පමණක් සෑහීමකට පත් විය නොහැකිවාක් මෙන්ම ප‍්‍රයෝජනයක්ද නොවන්නේය. එනිසා මේවා මැඩ පැවැත්වීම සඳහා අවැසි සමාජ මතයක් නිර්මාණ කිරීමට වහ වහා කළ යුතුය. සිංහල බෞද්ධ මේ රටේ ඒ සඳහා මග කියන ශ්‍රෙෂඨ ඉගැන්වීම නම් බුද්ධ දේශනාවයි. නමුත් අවාසනාවක මහත කවුරුන් හෝ එම ඉගැන්වීම් ප‍්‍රයෝජනයට නොගනිමින් හුදු පූජනීය වස්තුවක් පමණක් කොට ඇත. එනිසා මහා සංඝරත්නය ප‍්‍රමුඛව සමාජ නියමුවන් වෙත සුවිශාල වගකීමක් පැවරී ඇත. ‘‘නත්ථි රාග සමො අග්ගි’’ කාමය තරම් සමාන වෙනත් ගින්නක් නොමැති තරම්ය යන්න දේශනාවේදී දක්වා ඇත්තේ එහෙයිනි. සමාජ සත්වයන්ගේ සිතුම් පැතුම් වෙනස් කරමින් බුද්ධ දේශනාව සමාජගත කළ යුතුය. 

විශේෂයෙන්ම ළමා අපරාධ මැඩ පැවැත්වීම අරභයා බුද්ධ දේශනාව උපයුක්ත කොට ගත හැකි අයුරු ඉතාමත් අපූරු අන්දමින් සංයුත්ත නිකායේ, අනමතග්ග සංයුත්තයේ, සූත‍්‍ර ගණනාවකදීම දක්වා ඇත. එහිදි එන සූත‍්‍ර දේශනාවන් අතර  මාතු සූත‍්‍රය, පිතු සූත‍්‍රය, භාතු සූත‍්‍රය, භගිනි සූත‍්‍රය, පුත්ත සූත‍්‍රය, ධීතු සූත‍්‍රය, යනාදි සූත‍්‍ර දේශනාවන් ඉතා උපයුක්ත වේ. මේ අනුව බුදුරජාණන් වහන්සේ අප වෙත දේශනා කොට වදාළ මෙම සූත‍්‍ර ගණනාව පමණක් වුවද නිසි ලෙස සමාජ ගත කරන්නේ නම් ඉතා කාලෝචිත වුවකි. කෙළවරක් නොමැති මේ සංසාර චක‍්‍රයේදී තමන්ට මව් වූ, තමන්ට පියා වූ, තමන්ට සහෝදරයා වූ, තමන්ට සහෝදරිය වූ, තමන්ට සහෝදරිය වූ , තමන්ට පුතා වූ, තමන්ට දුව වූ සියලූ සත්වයන් අතර එසේ නොවුන අය දුලභ බව පහත ආදියෙන් දක්වා ඇත.  ‘‘ අනමතග්ගෝයං භික්‍ඛවේ සංසාරො න සො භික්‍ඛවේ, සත්තො සුලභරූපෝ යො න මාතු පුබ්බො ඉමිනා දීඝෙන අද්ධුනා. තං කිස්ස හෝතු ? ’’ යනාදි ලෙස සමාජ සම්මතයන් හා බැඳී පවතින සමීපතම ඥාති සම්බන්ධතා අනුව කෙළවරක් නොමැති මේ සංසාර චක‍්‍රයේදී අපට මව් නොවූ පියා නොවූ සත්වයෙක් නොමැති බව දක්වා ඇත. එහිදී සුවිශේෂයෙන්ම ඉගැන්වෙන්නේ මිනිසුන් පමණක් නොව සත්වයන් යන අර්ථයෙනි. මේ සංකල්පය ඔස්සේ සමාජ පුද්ගලයන් මොන ආගමක් ජාතියක් නියෝජනය කළත් සියලූ සත්ව ප‍්‍රජාව දෙස සසර කෙදිනක හෝ මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ මගේ සහෝදරයා, මේ මගේ සහෝදරිය, මේ මගේ පුතා, මේ මගේ දුව වූ අයෙක් තමා මා ඉදිරියේ පෙනී සිටින්නේ යන හැගීම පහළ කර ගන්නේ නම් එය මොන තරම් නම් යහ සමාජයකට ඉවහල් වනු ඇත්ද? මේ දේශනාව ලොව සත්‍ය වූ පරම දේශනාවයි. ගිනි ගෙන දැවෙන මේ ලෝකයට අද අවැසිම මානව චින්තනය මෙය නොවන්නේද?  යමෙක් එසේ සිතන්නේ නම් මේ සමාජ කාම අපරාධ රැල්ල මොන තරම් නම් දුරකට අවම කර ගත හැක්කේද?

කාමාශාවෙන් ගිනිගෙන වික්‍ෂිප්ත වූ සිතකින් කාමයේ වරදවා හැසිරෙන්නෙකුට එක ක්‍ෂණයකින් සිත් වන්නේ නම් ‘‘මම මේ සිදු කරන්න යන අපරාධය වනාහි මගේ අම්මාට, මගේ සහෝදරියට, මගේ දුවට කරන්නක් හා සමාන බව, එය එයින් මිදීමට හේතු නොවන්නේද?  එය සිත් වූවත් නොවූවත් උක්ත පුද්ගලයන් දුෂණය කළා හා සමාන බව සංයුත්ත නිකායේ උක්ත සූත‍්‍රයන් අනුව ඉතා පැහැදිළිය. සමාජයේ වගකිව යුතු සියළු පාර්ශවයන් විසින් සිය වගකීම් මැනවින් ඉටු කරමින් මෙම කාම රැල්ල මර්ධනය නොකළහොත් අනාගතයේදී රටක්, ජාතියක් ලෙස ඉතා භයානක තත්ත්වයන් වෙත මුහුණ දීමට සිදු වෙනු නොඅනුමානය.